newssabaragamuvacom

අබිරහසක්‌ ඉතිරි කර සමුගත් පුංචි සපීනා

වැල්ලවත්ත හැව්ලොක්‌ සිටි සුපිරි නිවාස සංකීර්ණයේ ඉහළ මහලක සිට වැටීමෙන් මියගිය අවුරුදු හතරක්‌ පමණ වයසැති සිඟිති දියණියක්‌ පිළිබඳ පුවත අප සි...

වැල්ලවත්ත හැව්ලොක්‌ සිටි සුපිරි නිවාස සංකීර්ණයේ ඉහළ මහලක සිට වැටීමෙන් මියගිය අවුරුදු හතරක්‌ පමණ වයසැති සිඟිති දියණියක්‌ පිළිබඳ පුවත අප සියලු දෙනාගේම දෙනෙත් කඳුළින් පිරවූ සිදුවීමකි. මෙම අවාසනාවන්ත සිද්ධිය වඩාත් කතාබහට ලක්‌වූයේ එම දැරියගේ මරණය අබිරහසක්‌ බවට ප්‍රචාරයවීමත් සමඟ ය. ඇත්ත වශයෙන්ම මෙම දැරිය වැටී මියගියාද? නැතිනම් කවුරුන් හෝ ඇයව එම මහලෙන් පහළට තල්ලු කර මරා දැමුවාද යන්න තවමත් සැක සහිතය. එම නිසා මෙම මරණය ආන්දොaලනාත්මක සිද්ධියක්‌ බවට පත් වී හමාරය. පහතින් පෙළ ගැසෙන්නේ යළි කිසිදිනෙක කවුරුත් නෑසිය යුතු එම කතා පුවතයි.

නවුසාඩ් වත්තල මාබෝල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිඳ ෆාතිමා වන අතර මෙම දෙපළට දරුවන් තිදෙනෙක්‌ සිටිති. ඉන් වැඩිමල් දියණියගේ වයස අවුරුදු 8 කි. දෙවැනි දියණිය වන සපීනාගේ වයස අවුරුදු හතරක්‌ වන අතර බාලයා මාස හතරක කුඩා බිලිඳියකි. මොවුන් පසුගිය 21 වැනිදා වැල්ලවත්ත හැව්ලොක්‌ සිටි සුපිරි මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියේය. ඒ නවුසාඩ්ගේ බිරිඳගේ අම්මා සහ මල්ලී පදිංචි වී සිටි 11 වැනි මහලේ නිවස වෙතය. මෙම නිවසට පැමිණීම සඳහා වඩාත් උනන්දුවූයේ වැඩිමහල් දියණියන් දෙදෙනාය. එයට ප්‍රධාන හේතුවක්‌ තිබිණි. ඒ තම මාමා එම දියණියන් දෙදෙනා කුඩා බයිසිකල් දෙකක්‌ මිලදී ගෙන තිබු බැවිනි.

නවුසාඩ්ගේ බිරිඳ සහ දරුවන් තිදෙනා දින කිහිපයක්‌ වැල්ලවත්තේ තම මාමාගේ නිවසේ නැවතීමට තීරණය කර තිබුණි. නවුසාඩ්ගේ වැඩිමහල් දියණියන් දෙදෙනා තම මිත්තණියගේ නිවසේ (හැව්ලොක්‌ සිටි සුපිරි මහල් නිවාසයේ) කාලය ගත කළේ මහත් සතුටිනි. එයට හේතු කිහිපයක්‌ තිබුණි. තම නිවස පිහිටා තිබූ ප්‍රදේශයට වඩා බෙහෙවින් මෙම ප්‍රදේශය සුන්දර යෑයි ඔවුන්ගේ පුංචි සිතට කාවැද්දී තිබිණි. මෙම සුපිරි නිවාස සංකීර්ණයේ ඔවුන් වඩාත් ආශා කළේ 2 වැනි මහලේ පිටතට එන පරිදි සකස්‌ කළ සමතලා භූමියක පිහිටා තිබූ ළමා උද්‍යානයටයි.

පුංචි සපීනා හරිම හුරතල්ය. සෑම මොහොතකම පුංචි සිනහවකින් ඇයගේ මුහුණ සැරසී ඇත. වචන තෝරා බේරා ගෙන ඇය කතා කරන විලාසයට කවුරුත් කැමතිය. නන්නාදුණන අයෙකු පවා පුංචි සපීනා දුටු විට නැවත වරක්‌ ඇය දෙස බලයි. ඒ තරමටම ඇය සිරියාවන්තය. නවුසාඩ්ගේ පවුලේ එකම හුරතලිය බවටද පත් වී තිබුණේ මේ පුංචි සපීනායි. තම මාමාගේ නිවසේ සතුටින් ගතකරන දියණියන් දෙදෙනා දිහා බලා නවුසාඩ්ගේ බිරිඳද මහත් සතුටක්‌ ලැබුවාය.

ජනවාරි 24 වැනිදා දිනය උදාවිය. මෙය පුංචි සපීනා ජීවත්වන අවසන් දවස වෙතැයි කව්රුත් නොසිතූහ. නමුත් එම දිනය පුංචි සපීනාගේ අවසන් දවස ලෙසට ඇයගේ දෛවයේ සමහරවිට ලියෑවී තිබෙන්නට ඇත.

එදිනත් එනම් පසුගිය 24 වැනිදා මෙම දියණියන් දෙදෙනාටම උවමනා වූයේ ළමා උද්‍යානයට ගොසින් රිසිසේ සෙල්ලම් කිරීමටයි. පුංචි සපීනා කිහිපවරක්‌ම තම මවට සුරතල් බසින් පැවසුවේ ළමා උද්‍යානයට ගොස්‌ සෙල්ලම් කරමු කියාය. තම දියණියන්ගේ ඉල්ලීම අහක දැමීමට එම මව අකමැති වූවාය. ඕ කිසිම දිනක පුංචි දෙයකින් හෝ තම දරුවන්ගේ සිත් රිදවා නැත.

දහවල් 11 ට පමණ නවුසාඩ්ගේ බිරිඳ සහ දරුවන් තිදෙනා 11 වැනි මහලයේ සිට 2 වැනි මහලයේ පිහිටි ළමා උද්‍යානය කරා පැමිණියාහ. ඔවුන් 11 වැනි මහලේ සිට 2 වැනි මහල දක්‌වා පැමිණ තිබුණේ විදුලි සෝපානය භාවිතා කරමින්ය. සපීනා සහ ඇගේ වැඩිමහල් සොයුරිය මාමා විසින් ලබාදුන් කුඩා බයිසිකල් දෙකද ළමා උද්‍යානය වෙත රැගෙන ගොස්‌ තිබුණි. මව සහ තම පුංචි සොහොයුරිය (මාස 4 ක්‌ පමණ වයසැති) පසෙකට වී සිටියදී මෙම දියණියන් දෙදෙනා පැයක්‌ පමණ තමන්ට සිත් සේ සෙල්ලම් කළාය.

පැයක්‌ පමණ එක දිගට සෙල්ලම් කළ නිසා සපීනාගේ අක්‌කාට දැඩි වතුර පිපාසයක්‌ ඇති වී තිබුණි. ඇය ඒ බව තම මවට පැවසුවාය. ඒ මොහොතේදීම ඇයගේ ඇකයේ සිටි කුඩා බිළිඳියද හඬන්න පටන් ගත්තාය. එම නිසා ඇය එම දියණියට මව් කිරි පෙවීමට සැරසී තම අවු 8 ක්‌ පමණ වයස වැඩිමහල් දියණියට පැවසුවේ නංගී සමග ආච්චි අම්මාගේ නිවසට ගොස්‌ වතුර පානය කර එන ලෙසයි. එම දියණිය මවගේ කීම අසා පුංචි සපීනා සමග ආච්චිඅම්මා ජීවත්වන 11 වැනි මහල වෙත යැමට සැරසුණාය.

දින කිහිපයක්‌ මෙම මහල් නිවාස සංකීර්ණයේ සිටි නිසා විදුලි සෝපානය ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුමක්‌ පුංචි සපීනාගේ අක්‌කාට තිබුණි. ඇය තම නැඟණිය සමඟ විදුලි සෝපානයට ගොඩවූවාය. එයට ගොඩවී 11 වැනි මහල වෙත යැම සඳහා අවශ්‍ය බොත්තම එබුවේය. සෝපානය තුළදී ඇය පුංචි සපීනාගේ ඔළුව අතගා කම්මුල් දෙකද ආදරයෙන් අතගෑවාය. ඒ සියල්ල සී සී ටී වී කැමරාවල පැහැදිලිව සටහන් වී තිබුණි. 11 වැනි මහලට ආ පසු සපීනාගේ අක්‌කා විදුලි සෝපානය රඳවා ගැනීමේ බොත්තම (හොල්ඩි බට්‌න්) ඔබා එය පුංචි සපීනාට ඔබාගෙන ඉන්න කියා ඈ විදුලි සෝපානයෙන් එළියට ආවේ යළි ඉක්‌මනට එන බව පවසමිනි. පුංචි සපීනාට මේ කිසිවක්‌ හරිහැටි තේරුණේ නැත. ඇය අතින් රඳවා ගැනීමේ ස්‌විචය ගිලිහුණේය.

ඒවන තුරු සිදුවූ සියල්ල විදුලි සෝපානයේ ඇති සීසීටීවී කැමරාවේ පටිගත වී තිබේ. ඉන්පසු විදුලි සෝපානය 21 වැනි මහලට ගොස්‌ තිබේ. ඉන්පසු යළි සපීනාව දැකගත හැකි වනුයේ 2 වන මහලේ පිට්‌ටනිය මත වැටී සිටියදීය.

තම දියණියන් දෙදෙනා ප්‍රමාදවීම නිසා පුංචි සජීනාගේ මව විදුලි සෝපානයෙන් 11 වැනි මහලට ගොස්‌ තම දරුවන් පිළිබඳව සොයා බැලුවාය. එවිට ඔවුන් දෙදෙනා නිවසේ නොමැති බව ඇයට දැනගන්නට ලැබුණි. වහාම ඇය නැවත පහළට පැමිණියාය. එවිට එහි සිටි කාන්තාවක්‌ පවසා සිටියේ කුඩා ළමයකු පහළ වැටී සිටින බවයි. වහාම ඇය එම ස්‌ථානයට ගියාය. එහිදී ඇයට දැකගන්නට ලැබුණේ තම සිඟිති දියණිය මුනින් අතට බිම වැටී සිටින අයුරුයි. එම දර්ශනය දැකීමෙන් ඇය මුළු ප්‍රදේශයම දෙවනත් වනසේ විලාප තැබුවාය. ඇයට කරන්නේ කුමක්‌දැයි සිතා ගැනීමට නොහැකි වූවාය. පිස්‌සියක මෙන් ඇය දිගින් දිගටම විලාප තැබුවාය. අවට සිටි අය පුංචි සපීනාව වහාම පෞද්ගලික රෝහලකට රැගෙන ගියහ. ඒ වන විටත් පුංචි සපීනා මෙලොවින් සමුගෙන තිබුණි.

මේ අතර කාලය තුළ සපීනාගේ අක්‌කා තම නැඟණියව සොයාගෙන එම මහල් සංකීර්ණයේ ආරක්‍ෂක අංශයේ කුටිය වෙත පැමිණ තිබිණි. එහිදී ඇයට සීසීටීවී කැමරා වලින් දැක ගැනීමට හැකිවී ඇත්තේ තම මව විලාප නඟා හඬන බවත්, නංගී බිම ඇද වැටී අයුරුත්ය. ඒ සමගම ඇය එම ස්‌ථානයේ සිටි හමුදා නිලධාරියෙක්‌ගෙන් ජංගම දුරකථනයක්‌ ලබාගෙන තම පියාට මේ බව දැනුම් දී තිබිණි.

මේ සිද්ධිය සිදුවීමෙන් පසු මුලින්ම චෝදනා එල්ලවුණේ හැව්ලොක්‌ සිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයේ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් වෙතය. එහිදී පැවැසුවේ ඔවුන් හරිහැටි තම සේවය ඉටුනොකර ඇති බවයි. ඉන්පසු එම නිවාස සංකීර්ණයේ එම මහලේ සීසීටීවී කැමරා එම මොහොතේ ක්‍රියාත්මක නොවී ඇති බවටද චෝදනා එල්ල විය. පසුව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වූයේ එවැනි දෙයක්‌ සිදුවී නොමැති බවයි. තවත් අය පැවැසුවේ එම දැරිය වැටුණු මහලේ තිබුණ බැල්කනිය දැරියට වඩා අඩි කිහිපයක්‌ උස නිසා සපීනාට එයට නැගිය නොහැකි බවත් කවුරුන් හෝ ඇයව එම ස්‌ථානයෙන් පහළට තල්ලුකර දමන්නට ඇති බවයි. මෙවැනි කට කතා රාශියක්‌ පුංචි සපීනාගේ මරණය සම්බන්ධයෙන් ඇතිවුණි.

නමුත් දැනට සිදුකර ඇති පරීක්‍ෂණවලින් හෙළි වූයේ මෙම දැරියගේ මරණය සිදුවී ඇත්තේ එම මහල් නිවාස සංකීර්ණයේ 21 වැනි මහලේ සිට බිමට ඇද වැටීම නිසා හිසට සිදුවූ බරපතළ තුවාල නිසාත්, අභ්‍යන්තර ලේ වහනය වැඩිවීම සහ ශරීරයේ අභ්‍යන්තර ද්‍රව්‍ය (අතපය කැඩී) කැඩී බිඳී තිබූ නිසා බවත්ය.

පුංචි සපීනාගේ මරණ පරීක්‍ෂණය පැවැත්වූ හදිසි මරණ පරීක්‍ෂක උපාලි පෙරේරා මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ මෙවන් අදහසකි. මෙම මරණය කිසිවකු විසින් සිදුකළා කියා පිළිගන්න පුළුවන් තරම් සාක්‍ෂියක්‌ තවම ලැබී නැහැ. උසක ඉඳන් වැටීම නිසා ශරීරයට ඇතිවුණ තුවාල පමණයි සිරුරේ දකින්න ලැබුණේ.

අපි එම සිද්ධිය වුණු ස්‌ථානයට ගිහින් පරීක්‍ෂාකර බැලුවා. එහිදී දැරිය වැටුණ ස්‌ථානය වන 21 වැනි මහලටත් අපි ගියා. ඒ යන විටත් එහි එළියෙන් යන්න තියෙන දොර (බැල්කනිය දෙසට) ඇරලා තිබුණා. අපි හිතන විදිහට දැරිය විදුලි සෝපානයෙන් මෙම 21 වැනි මහල වෙත එන්න ඇති. එළියට ඇවිත් බැලුවාම ඇයට බැල්කනිය පෙනෙන්න ඇති. එම පුංචි දැරියට විදුලි සෝපානයෙන් යළි පහළට යන්න නොතේරෙන නිසා බැල්කනිය ළඟට ඇවිත් බලන්න ඇති. එම ස්‌ථානය එම දැරියට වඩා අඩි 1 1/2 ක්‌ පමණ උසයි. නමුත් එම දැරිය අත් ඉස්‌සුවෝතින් එම බැල්කනියේ තියෙන ඇලුමිනියම් බාර් එක අල්ලාගෙන උඩට නගින්න පුළුවන්.

මෙම දැරියත් යන්න තැනක්‌ නැති නිසා එසේ බැල්කනියට නැගී එළිය බලන්න ඇති කියලා අපි නිගමනය කළා. එලෙස බැල්කනියට නගින්න හදද්දී ලිස්‌සා පහළට වැටෙන්න ඇති කියලා අපි නිගමනය කළා. එම ස්‌ථානය නිරීක්‍ෂණය කිරීමේදී වෙනත් බාහිර පුද්ගලයකු පැමිණි ලක්‍ෂණ පෙනෙන්න තිබුණේ නැහැ. එම නිවාස සංකීර්ණයේ සීසීටීවී කැමරා පවා හොඳින් ක්‍රියාත්මක වී තිබුණා. අපි ඒවත් නිරීක්‍ෂණය කළා. එහිදී යම් බාහිර පුද්ගලයකු ඇතුළුවී ඇති බවක්‌ පෙනෙන්නට තිබුණේ නැහැ. මෙවැනි බොහෝ කාරණා අපි හොඳින් නිරීක්‍ෂණය කළා. මා හිතනවා මේ දැරියගේ මරණයට දෙමාපියනුත් වග කියන්න ඕනෑ කියලා. මෙවැනි කුඩා ළමුන්ව හිතුමතේ මෙහෙම යවන්න නරකයි.

දැන් සියල්ල සිදුවී අවසන්ය. අවසානයේ සිදුවූයේ පුංචි ළදැරියක්‌ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගැනීමයි. තම දරුවන් ගැන විශේෂයෙන් කුඩා ළමුන් ගැන දෙමාපියන් මීට වඩා සිහි බුද්ධියෙන් සිටිය යුතුය. එසේ වූවානම් පුංචි සපීනා ද තවම ජීවතුන් අතරය.

Related

News Alert 1164329456598032328

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item