newssabaragamuvacom

දැන් මොකද රටට වෙන්නේ! හැමෝම අහන ප්‍රශ්නයට මෙන්න උත්තර

අපේ රට මේ වන විට ගමන් කරමින් සිටින්නේ අප කිසිදා අත් නොවිඳි අපූරු දිශාවකටය. විධායක ජනාධිපතිවරයා රටේ ප්‍රධාන විපක්‌ෂය වන ශ්‍රී ලංකා නිදහස්‌ ප...

අපේ රට මේ වන විට ගමන් කරමින් සිටින්නේ අප කිසිදා අත් නොවිඳි අපූරු දිශාවකටය. විධායක ජනාධිපතිවරයා රටේ ප්‍රධාන විපක්‌ෂය වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායකයාය. අගමැතිවරයා ආණ්‌ඩුවේ ප්‍රධාන පක්‌ෂය වන එක්‌සත් ජාතික පක්‌ෂයේ ජාතික නායකයාය. ඒ අතරේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සතුය. මේ සියල්ල නිසා අද රට තුළ සැබෑ බලය ඇත්තේ කාහටදැයි යන්න බොහෝ දෙනකුට තේරුම් ගත නොහැකි තත්ත්වයක්‌ තිබේ. කවුරුන් කෙසේ කීවත් නව ජනාධිපතිවරයකු පත්ව සිටී. ඔහු මෙරට බහුතර ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වී ඇති අතර පෙර සිටි ජනාධිපතිවරු සතුවූ සියලු බලතල ඒ ආකාරයෙන්ම ඔහුටද හිමිය. ඔහු එය භාවිත කරන ආකාරය කෙලෙස වුවත් ඔහු සතු බලතල තවමත් එලෙසම පවතිනු ඇත.

ජනාධිපතිවරයා බලය පාවිච්චි නොකළත් පවතින තත්ත්වය හමුවේ තනතුරු ලැබුණු සමහරුන් එයින් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරය ද දැකිය හැක. එහෙත් මේ සියල්ල දින සියයකැයි සිතන පිරිස්‌ද රටේ වෙති. ඒ අතරේම වත්මන් රජය තවත් වසර දෙකකට දීර්ඝ කරගෙන පවත්වාගෙන යායුතු බවට යෝජනා ද ඉදිරිපත්ව තිබේ. එහෙත් වෙනස්‌කම් සිදුවීම කෙසේ වෙතත් කවුරු දිනුවත් කවුරු පැරදුනත් රට ඉදිරියට ගමන් කළ යුතුව තිබේ.

අද වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ භූමිකාව බොහෝ දෙනකුට ප්‍රශ්නයකි. විශේෂයෙන්ම ඔහු ජනාධිපති කරන්නට එක්‌සත් ජාතික පාක්‌ෂිකයන් සියල්ලම පාහේ දායකත්වය ලබාදුන් බැවින් ඔහුට එය අමතක කළ නොහැක. එහෙත් ඔහු ජනාධිපති වූයේ එක්‌සත් ජාතික පක්‌ෂයේ ඡන්ද වලින් පමණක්‌ නොවේ. මෙවර පාවෙන ඡන්ද අති බහුතරය ලැබුණේද ඔහුටය. වෙනසක්‌ අවශ්‍ය පිරිස්‌ ඡන්දය දුන්නේ ඔහුටය. තරුණ ඡන්ද වැඩිපුරම භාවිත වූයේ ඔහුටය. අනෙක්‌ අතට ඔහු පැමිණි ගමන් මඟ දෙස බලන විට මේ තාක්‌ බලය පවත්වා ගනිමින් රටේ ඉහළම තැනට පත් වන්නට තිබූ හැකියාව අනුව ඔහු තද තීරණ නොගන්නෙකු ලෙස හෝ ඔහු මේ තත්ත්වය තේරුම් ගෙන නැතැයි සිතන්නේ නම් එය මුලාවකි. ඔහු අවශ්‍ය අවස්‌ථාවල අවශ්‍ය ඕනෑම පියවරක්‌ ගන්නට පසුබට නොවනු ඇත.

දේශපාලනික වශයෙන් ගත්කල මෛත්‍රීපාල සිරිසේන මහතා මුළුමනින්ම තම විධායක බලතල ඉවත් කරගනී යෑයි සිතිය නොහැක. ඔහු තමන් සතු සියලු බලතල බන්දේසියක තබා පාර්ලිමේන්තුවට හෝ අගමැතිවරයාට පිළිගන්වනු ඇතැයි සිතිය නොහැක. එසේ වුවහොත් ඔහු තම අනාගතයත්, පක්‌ෂයේ අනාගතයත්, දේශපාලන අනාගතයත් අනතුරේ හෙළා ගැනීමකි. අනෙක්‌ අතට සුළු ජාතික අන්තවාදී පක්‌ෂ සිදුකරන කේවල කිරීම් හමුවේ ඊට ශක්‌තිමත්ව මුහුණ දෙන්නට විධායක බලැති ජනාධිපතිවරයකු රටට අවශ්‍යය.

මේ සියලු තත්ත්වයන් තුළ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් දැන් රට තුළ ඇතිවී තිබෙන්නේ සර්ව සුබවාදී ආකල්පයකි. ඔහු තම ජනාධිපතිවරණ අපේක්‌ෂකත්වය මෛත්‍රීපාල සිරිසේනට ලබාදීම, මහින්ද රාජපක්‌ෂ ගෙන් බලය මෛත්‍රීපාල සිරිසේන හට හුවමාරු වූ අවස්‌ථාවේ ඉතාම ස්‌ථානෝචිතව කටයුතු කිරීම, වර්තමානයේ පක්‌ෂයට අවශ්‍ය දේ විධායක ජනාධිපතිවරයා සමඟ ගැටුමකට නොගොස්‌ ඉතාම ප්‍රශස්‌ත ආකාරයට සිදු කරගැනීම මෙන්ම අතුරු අයවැය තුළින් ජනතාවට සෙත සැලසීම ආදිය තුළින් ඔහු තම කාර්ය ශූරත්වය හා දක්‌ෂතාව පෙන්නුම් කළේය. යම් කිසි ආකාරයකින් ඉදිරියේදී ඔහුගේ රජය කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ හෝ එසේත් නැතිනම් පොදු විපක්‌ෂයේ එකඟතා බිඳ වැටීමක්‌ සිදුවුණහොත් එහි වාසිය, අනුකම්පාව සියල්ල අත්පත් කරගන්නේද රනිල්ය.

මෙවැනි යාන්ත්‍රණයක්‌ තුළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ කෙසේද යන්න ගැටලුවකි. එම පක්‌ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් සියල්ලටම පාහේ මේ වන විට එල්ල වෙමින් පවතින චෝදනා හමුවේ එම පක්‌ෂයට ඉදිරි මහ මැතිවරණයේදී බරපතල ගැටලුවලට මුහුණදීමට සිදුවේ. මේ තත්ත්වය පක්‌ෂ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තේරුම් ගත යුතුය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට මහ මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දුනහොත් මේ අභියෝග සියල්ල ජයගෙන විශාල බලයක්‌ හිමි කරගත හැක්‌කේ රැල්ල මේ වන විට ඇත්තේ ඔහු වටා නිසාය.

යම් ලෙසකින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ නායකත්වය චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරණතුංග මහත්මිය භාරගෙන පක්‌ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමද සිදුවිය හැකිය. පවතින තත්ත්වය හමුවේ ඇය නැවත පාර්ලිමේන්තුවට පත්කරගැනීම නුවණට හුරුය. ඇය ප්‍රසිද්ධ දේශපාලනයට නොඑන්නේ නම් ඇගේත් විජය කුමාරණතුංගගේත් පුත් විමුක්‌ති වහාම දේශපාලනයට ගෙන ආ යුතුය. අවශ්‍ය නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් තම පුත් දහම් පොළොන්නරුවෙන් දේශපාලනයට අවතීරණය කළ හැක. පැරණි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ නායකයන්ගේ තරුණ පුතුන් මෙලෙස ඉදිරිපත් කිරීම තුළින් පක්‌ෂයට නව ජවයක්‌ හා නව මුහුණුවරක්‌ ගත හැකිය.

අනිත් අතට වසර ගණනක්‌ බලයේ සිට, තවමත් පාර්ලිමේන්තුවේ සුවිශාල බලයක්‌ සහිතව සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැති ඇමැතිවරු බලය නොමැතිව දැන් සිටින්නේ තරමක්‌ අපේක්‌ෂා භංගත්වයෙනි. ඒ තුළ බොහෝ දේ සිදු විය හැකිය. කාට හදිසියක්‌ නැති වුවත් හැකි ඉක්‌මනින් යළිත් ආණ්‌ඩුවක්‌ හදන්නට ඔවුන්ට උවමනාය. ඒ සඳහා ඕනෑම කෙනකු වටා ඔවුන් ඒකරාශී වනු ඇත. එසේ වුවහොත් මහින්ද රාජපක්‌ෂ හට එරෙහිව ගිය ආකාරයෙන්ම කාට වුව එරෙහි වන්නට මේ පිරිස කටයුතු කරනු ඇත. අනෙක්‌ අතට විපක්‌ෂයේ සිටියදී බොහෝ සටන්කාමී, එහෙත් ඇමැතිවරුන් වූ පසු නිහඬ චරිත බවට පත්වූ වර්තමාන විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට යළිත් ජනතාව අතරට යන්නට හොඳ අවස්‌ථාවක්‌ ලැබී තිබේ. නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ වැනි මන්ත්‍රීවරු එම අවස්‌ථාවෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගනු පෙනේ. පසුගිය කාලයේ ජනතාවගෙන් යම් තරමකට ඈත්වූයේ නම් යළිත් සටන්කාමී ලෙස ජනතාව අතරට එන්නට මෙය යළි හොඳම අවස්‌ථාවකි.

එක්‌සත් ජාතික පක්‌ෂය මෙවර අතුරු අයවැය හා පසුගිය දිනවල ලබාදුන් ජනතා සහන සමඟ දින සියයකින් මහ මැතිවරණයකට ගියහොත් එය එම පක්‌ෂයට ඉතාම වාසි සහගත වනු ඇත. එහෙත් ඒ වන විට යම් ලෙසකින් වසරකින් හෝ දෙකකින් මහ මැතිවරණයකට යන්නට සිදු වුවහොත් ඒ වනවිට පවතින ලෝක ආර්ථික තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපානු ඇත. එවිට ජනතා සහන ඒ අයුරින්ම පවත්වාගෙන යැම පවතින රජයට අසීරු වන අතරම රජයට එරෙහිව යම්යම් බලවේග නැඟීසිටීමට එය හේතුවක්‌ වනු ඇත. එම නිසා ජනතාවට යම් යම් සහන දැන් ලබාදී ඇති හෙයින් මැතිවරණයකට යැම එක්‌සත් ජාතික පක්‌ෂයට වාසිදායකය.

මේ රටේ සිංහල, දෙමළ මුස්‌ලිම් ජාතිකයන් සියලු දෙනාම දශක ගණනාවක්‌ තිස්‌සේ සමගියෙන් සමාදානයෙන් ජීවත් වූහ. ඔවුන් අතර ප්‍රශ්න නොවූ තරම්ය. එහෙත් අවස්‌ථාවාදී දේශපාලකයන් එම ජාතික සමගිය බිඳ දැම්මේ ඉක්‌මනින් බලයට පත්වීමේ අපේක්‌ෂාවෙනි. එම නිසා අප පසුගිය දශක කීපය බරපතල ප්‍රශ්නවලට මුහුණ දුන්නේ දහස්‌ ගණන් ජීවිත වලින් වන්දි ගෙවමිනි. එම නිසා නැවත කෙලෙසවත් එවන් යුගයකට යළි ගමන් කරන්නට නොහැකි වන ආකාරයට රට සකස්‌ කළ යුතුව තිබේ. අවස්‌ථාවාදී බලලෝභී ඇතැම් මුස්‌ලිම් දේශපාලකයන් කීපදෙනකු යළිත් තනතුරු සඳහා වත්මන් පාලකයන්ටද බලපෑම් කරමින් සිටී. පසුගිය කාලයේ මුස්‌ලිම් ජනතාවට සිදුවූ ප්‍රශ්න නිසා මුස්‌ලිම් ප්‍රජාව බොහෝසෙයින් මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‌ෂ විරෝධී ස්‌ථාවරයක සිටියහ. මුස්‌ලිම් ජනතාවට සිදුවූ ප්‍රශ්නවලදී කිසිදු තීරණාත්මක මැදිහත්වීමක්‌ නොකළ රිෂාඩ් බදුර්දීන් සහ රවුµa හකීම් ඇමැතිවරු ඇමති ධුර හේතුවෙන් තවදුරටත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තුළ රැඳී සිටියහ. ජනාධිපතිවරණය ආසන්න වන විට මුස්‌ලිම් ජනතාව සියල්ලම පාහේ විපක්‌ෂය සමඟ එක්‌ව සිටීම නිසා කරන්නට දෙයක්‌ නොමැතිව මොවුහු අවසන් මොහොතේ පොදු විපක්‌ෂය සමඟ එක්‌වූහ. එසේ එක්‌වීම ප්‍රශ්නයක්‌ නොවේ. ප්‍රශ්නය ඇත්තේ ඔවුන්ට ලබාදී ඇති ඇමැති ධුර සහ ඔවුන් කේවල කරන ආකාරයේය. උදාහරණයක්‌ ලෙස රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට මුලින් ලබාදී තිබුණු ආයතන තිස්‌ ගණ්‌නට අමතරව තවත් ආයතන කීපයක්‌ නැවත ලබාදී තිබේ. ඒවා කිසිදිනෙක එම අමාත්‍යංශයට අයත්ව තිබුණු ඒවා නොවේ. අනෙක්‌ අතට ආර්ථික වශයෙන් මර්මස්‌ථාන වන ආයතන මේ අයට ලබාදීම කිසිසේත් සුදුසු නැත.

මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලනයට පිවිසෙන්නේ නම් ඒ සඳහා ඔහු යම් නිශ්චිත කාලසීමාවක්‌ නිහඬව සිට තමන්ට වැරදුණු තැන්, තමන්ගේ අඩුපාඩු සහ තමන් විසින් ළං කරගෙන සිටි පුද්ගලයන්ගේ සැබෑ ස්‌වරූපය තේරුම් ගත යුතුය. එකල රටේ සැබෑ ජනාධිපතිවරයා තමන් වුවද රට පාලනය කළේ බැසිල්, ගෝඨාභය සහ නාමල් විසින් යෑයිද, ඔවුන්ට එය අවශ්‍ය පරිදි කරගන්නට ඉඩදී නිහඬව සිටීමේ වරදට දඬුවම මෙලෙස තමන්ට ලැබුණු බවට රටේ බහුතරයක්‌ ජනතාව නඟන චෝදනාව ඔහු විසින්ම තේරුම් කරගත යුතුය. ඔහුට අත්වූ ඉරණම ඔහුට පමණක්‌ නොව ලොව ඕනෑම පාලකයකුට නායකයකුට හොඳම පාඩමකි. නායකයන් සෑම විටම ජනතා සිතුම් පැතුම් අවශ්‍යතා තේරුම් ගෙන කටයුතු කළ යුතුය. එසේ නොවුණු විට ජනතාව තමන්ගෙන් ඈත්වන්නේ විදුලි වේගයෙන් බව ඕනෑම පාලකයකු මතක තබා ගත යුතුය. නැවත දේශපාලනයට එන්නේ නම් සහෝදරයන් හා දරුවන් නොමැති දේශපාලනයක්‌ ඔහු කළ යුතුව ඇත. එහෙත් ඔහු යම් ලෙසකින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීන් සමඟ වෙනත් දේශපාලන පක්‌ෂයක්‌ පිහිටුවා ගතහොත් මන්ත්‍රී ආසන යම් ප්‍රමාණයක්‌a ඔවුන්ට ජයගත හැකි වුවත් එයින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ඡන්ද බෙදී යැමේ වාසිය අත්වන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයට බව හිටපු ජනාධිපතිවරයා තේරුම් ගත යුතුය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත අද වන විට ඉදිරියට එමින් සිටින්නේ ජනතා විමුක්‌ති පෙරමුණයි. විශේෂයෙන්ම මහින්ද රාජපක්‌ෂ පරාජය කරන්නට ජනතා විමුක්‌ති පෙරමුණ සුවිසල් සේවාවක්‌ සිදු කළේය. ජනාධිපතිවරණයේදී කිසිවකුට ඡන්දය දෙන්නැයි ජනතා විමුක්‌ති පෙරමුණ නොකිව්වත් මහින්ද රාජපක්‌ෂ පරාජය කළයුතු බව පවසමින් ජවිපෙ රට පුරා ගියහ. දැන් පවතින රජය වුවද විවේචනය කරන්නට ඔවුන්ට හැකියාව ලැබෙන පරිදි ඔවුන් ආණ්‌ඩුවට සම්බන්ධ නොවූහ. පැවති රජය මෙන්ම පවතින රජයද විවේචනය කරන විට ජනතාව තමන් වෙත එන බව ඔවුහු දනිති. විශේෂයෙන්ම ස්‌වාධීන කොමිසන් සභා පිහිටුවා පවත්වන නිදහස්‌ හා සාධාරණ ඡන්දයකදී ජනතා විමුක්‌ති පෙරමුණ එහි වාසිය අත්කරගනු ඇත. වර්තමානයේ ජනතා විමුක්‌ති පෙරමුණේ භූමිකාව හරිහැටි සිදුවන නමුත් ඔවුන් යම් අවස්‌ථාවක එයින් ඉවත්ව රජය සමඟ ගමන් කරන්නට පටන් ගතහොත් එයම ඔවුන් ජනතාවගෙන් ඈත්කරන හේතුව වනු ඇත. 2005 දී මහින්ද රාජපක්‌ෂ ජනාධිපති කරන්නට ඔවුන් ගත් වෑයම පසුකාලීනව ඔවුන්ටම පාරාවළල්ලක්‌ වූ අතර යම් ලෙසකින් මහින්ද ඔවුන් සමඟ ඉදිරියට ගියේ නම් මහින්ද අතින් සිදුවූ බොහෝ වැරදි සිදු නොවන්නට ඉඩ තිබිණි.

මේ නිසා ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රධාන පක්‌ෂ දෙකම විවේචනය කරමින් තනිව ගමනක්‌ යන්නට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරනු ඇත. යම් ලෙසකින් පුළුල් පෙරමුණකින් ඔවුන් ඉදිරිපත් වුවහොත් 2004 වසරේ වැනි සෑහෙන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ පත් කරගන්නට ඔවුන්ට හැකිවනු ඇත.

තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒමට ආණ්‌ඩුව තීරණය කිරීම මෙරට ජනමාධ්‍ය ක්‌ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්‌ථානයක්‌ වනු ඇත. එහෙත් එක පැත්තකින් තොරතුරු දැනගැනීමේ පනත ගෙන එන අතරම ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ම කියන්නේ නිලධාරීන් මාධ්‍යයන්ට තොරතුරු දීම නවතා දමන බවය. අනෙක්‌ අතට මාධ්‍යට තොරතුරුදීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම් වරුන්ගෙන් නිදහසට කරුණු විමසයි. යහපාලනය තුළ නිලධාරීන්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමට තහංචි පැනවෙන කිසිවක්‌ නොකළ යුතුය.

රජයක්‌ වෙනස්‌ වූවිට කලින් රජය කළ කී සියලු දේ වෙනස්‌ කිරීම සුදුසු නොවේ. ඇතැම් පාසල් කාලවේලාවන් වෙනස්‌ කිරීම පසුගිය දිනවල සිදු විය. බොහෝ රටවල පවතින පරිදි උදෑසනට දෙමාපියන් සේවයට යන්නට පෙර තම දූ දරුවන් පාසලට ඇරලවා හවසට තම සේවය නිමවී පාසලෙන් තම දරුවන් රැගෙන නිවසට යන්නට හැකි ක්‍රමවේදයක්‌ ඇතිකළ හැකිනම් දෙමාපියන්ට විශාල පහසුවක්‌ මෙන්ම අද
බොහෝ සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලැබේ. එවිට දරුවන්ගේ ආරක්‌ෂාව ගැන බියක්‌ දෙමාපියන්ට නැත. පාසල් වෑන්රථ සේවා අත්‍යවශ්‍ය වන්නේ නැත. අද විශාල ප්‍රශ්නයක්‌ වී ඇති මෙහෙකරුවන් අවශ්‍ය වන්නේද නැත. සවස්‌ වරුවේ අමතර ඉගැන්වීම් පාසල තුළම කළ හැකි නිසා අමතර ටියුෂන් පන්ති අවශ්‍ය වන්නේද නැත. ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් වල නිරත වන්නට ඕනෑතරම් කාලය ඇති බැවින් දක්‌ෂ ක්‍රීඩකයන් හා විවිධ දක්‌ෂතා ඇති දරුවන් අපේ රටේ තවත් බිහිවනු ඇත. එසේම මෙම ක්‍රමය හරිහැටි ක්‍රියාත්මක කළ හොත් මාසිකව මෙහෙකරුවන්ට පාසල් වෑන් රථවලට හා ටියුෂන් සඳහා වියදම් වන රුපියල් 25000 හෝ 30000 ක පමණ මුදලක්‌ පවුලකට ඉතිරි වේ. එය ආර්ථික වශයෙන්ද විශාල සහනයකි. එහෙත් මේවාට එරෙහි වන්නේ ඇතැම් ගුරුවරුන්ය. සෙසු රජයේ සේවකයන් හා සමාන හෝ ඊටත් වඩා වැඩි වැටුපක්‌ ලබන ගුරුවරුන් සේවය කරන්නේ දහවල් 1. 30 වනතුරුය. සවසට ඔවුහු ටියුෂන් පන්ති පවත්වති. ඒ නිසා මේ ක්‍රමයට ගුරුවරුන් විරුද්ධය. ගුරු සංගම් කියන කරන දේ සැමවිටම නිවැරදි නැත. අනෙක්‌ අතට අද ඇතැම් ගුරු සංගම් නායකයන් මහා චරිත බවට පත්වී ඇත්තේ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම තුළිනි. මේ ගුරු සංගම් රටේ සියලු ප්‍රශ්න ගැන කතාකළත් සියලු අයිතිවාසිකම් ගැන කතාකළත් තම වෘත්තීය යුතුකම් ගැන හෝ පාසල් දරුවන්ට ගුරුවරුන්ගෙන් සිදු විය යුතු සේවාව ගැන කතා කරන්නේ නැත.

දැනට කරුණු හෙළිවෙමින් ඇති ආකාරයට රාජපක්‌ෂවරුන්ට එරෙහි චෝදනා බරපතලය. එහෙත් අද වනවිට බොහෝ මාධ්‍ය සංදර්ශන ද සිදුවෙමින් පවතී. අනෙක්‌ අතට වැරදි සම්බන්ධයෙන් ක්‍රියාකළ යුත්තේ රටේ පිළිගත් නීති රාමුව තුළය. විවිධ දේශපාලන කණ්‌ඩායම්වලට හෝ අවස්‌ථාවාදී දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි එම කටයුතු සිදු වන්නේ නම් එය තුළ කවුරුන් හෝ නීතිය අතට ගන්නේ නම් එය යහපාලනය නොවේ. අනෙක්‌ අතට බොහෝ දූෂණ චෝදනා ඇති ඇතැම් දේශපාලනඥයන් අනුන්ට දූෂණ චෝදනා එල්ල කරමින් තමන්ගේ වැරදි වසා ගන්නට උත්සාහ කරන්නේ නම් ඊට ද සමාජයක්‌ ලෙස අප එරෙහි විය යුතුය.

අනවශ්‍ය වියදම් අඩුකිරීම සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයා සිය දිවුරුම් දීමේ උත්සවයේ සිටම ආදර්ශවත් විය. මුළු දිවුරුම් දීමේ උත්සවයටම වියදම රුපියල් හයදහසකි. ඒ මල් කලඹට සහ නිදහස්‌ චතුරශ්‍රයේ විදුලි බිලටය. පැමිණි පිරිසට හකුරු සමඟ කහට තේ ලැබිණි. අර්ජුන රණතුංග ඇමැතිවරයා ද තම අමාත්‍යංශයේ වැඩ භාරගත්තේ රුපියල් 420 ක්‌ පමණක්‌ වැය කරමිනි. ඒ පොල් තෙල්, බුලත් අතක්‌, පිරිත් නූල් හා පැන් කළයට වියදම් වූ මුදලය. එහෙත් තවත් අමාත්‍යංශයකට පත්වූ තරුණ ඇමැතිවරයකුගේ දිවුරුම් දීමේ උත්සවයේ කෑම බිල පමණක්‌ රුපියල් දෙලක්‌ෂය ඉක්‌මවීය. ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව මෙය වෙනස්‌ වෙනවා වෙනුවට රජය ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගත යුතුය.

වර්තමාන රජය විසින් ජනතාව වෙත ලබාදෙන සහන ජනතාව වෙත ගලායැම සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් සිටිය යුතුය. පසුගිය කාලය තුළ පෙට්‍රල් රුපියල් 45 කින් සහ ඩීසල් රුපියල් 35 කින් අඩු වුවද ඒවායේ අඩු වීමට සාපේක්‌ෂව සෙසු භාණ්‌ඩ හා සේවාවන් අඩු වීමක්‌ නොවිණි. අඩුම තරමින් ඩීසල් මිල සමඟ Rජු සම්බන්ධයක්‌ ඇති බස්‌ ගාස්‌තුව අඩුකෙරුණේ ඉතාම සුළු වශයෙනි. ත්‍රීවීල් ගාස්‌තු , පාසල් වෑන්රථ ගාස්‌තු අඩු වූයේ නැත. එළවළුමිල හෝ අත්‍යවශ්‍ය අහාර මිල ගණන් අඩු වුයේ ද නැත. මේ නිසා මිල කොමිසමක්‌ පත් කර නිතිපතා සිදු වන භාණ්‌ඩ හා සේවා මිල ඉහළ පහළ යැම් සම්බන්ධයෙන් රජය නිරන්තර අවධානයෙන් සිටිය යුතුය. 

Related

Political 8527615374305178460

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item