newssabaragamuvacom

ශ්‍රීලනිපය ද පාක්‍ෂිකයන් ද කිසිදා හැර නොයමි - මහින්ද රාජපක්‍ෂ

- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගෙන් ශ්‍රීලනිප රැස්‌වීමට සුබ පැතුම් කවර තත්ත්වයක්‌ යටතේවත් තමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ද, පාක්‍ෂිකයන් ද...

- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගෙන් ශ්‍රීලනිප රැස්‌වීමට සුබ පැතුම්


කවර තත්ත්වයක්‌ යටතේවත් තමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ද, පාක්‍ෂිකයන් ද හැර නොයන බවත්, පක්‍ෂයෙන් තමාට ලැබෙන දෙය නොව පක්‍ෂයට තමාගෙන් ඉටුවිය යුතුකම් පිළිබඳව තවමත් කැපවන බවත් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පෙරේදා (14 වැනිදා) පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විධායක සභා රැස්‌වීමට සහභාගි වීමට නොහැකි වීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ. 

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

2015 පෙබරවාරි මස 14 වැනි දින සවස 2.00 ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විධායක සභා රැස්‌වීමට සහභාගි වීමට මා හට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම ස්‌තුතිවන්ත වෙමි. නමුත් එදින මා කලින් යොදාගෙන ඇති අවලංගු කළ නොහැකි අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්‌ සඳහා හම්බන්තොට රැඳී සිටිය යුතු බැවින් මේ සඳහා සහභාගිවීමට නොහැකිවීම සම්බන්ධයෙන් අතිශයින් කනගාටුවෙමි.

වසර 47 ක්‌ මාගේ මුළු දේශපාලන ජීවිතයම කැප කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විධායක සභා හා සමස්‌ත ලංකා කාරක සභා අවස්‌ථාවට සුබ පතන්නේ ඉමහත් ආඩම්බරයෙනි. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමා සමග මා පියාණන් ද ඇතුළු එදා සිටි නායකයන් සමග එක්‌ව 1951 දී පිහිටු වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විශාල ජන බලයක්‌ ද විවිධ ප්‍රගතිශීලී පක්‍ෂ හා කණ්‌ඩායම් වල සහායද ගෞරවය ද දිනාගත් පක්‍ෂයකි. 1951 සිට මේ දක්‌වා ගත වූ දේශපාලන ඉතිහාසයේ අවස්‌ථා ගණනාවකදීම ඉතා තීරණාත්මක මෙහෙවරක්‌ ඉටු කළ ආණ්‌ඩු පිහිටුවාලීමට නායකත්වය දීමට අප පක්‍ෂයට හැකි විය. 30 වසරක්‌ පැවති ලොව දරුණුම ත්‍රස්‌තවාදය නිසා හටගත් යුද්ධය සංසිඳුවා ලංකාවට සාමය ගෙන ඒමට හැකි වීම ද 2/3 කට ආසන්න ජන බලයක්‌ සහිත ආණ්‌ඩුවක්‌ ගොඩනැගීමට අපට හැකි වීම ද මා සිහිපත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වෙනුවෙන් කැප වූ සියලු ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ගේ අභිමානය පිණිසය.

එවැනි වූ අප ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දුර්වල වූයේ පක්‍ෂයේ සමගිය බිඳී ගිය අවස්‌ථාවන්වලය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට තිබෙන ජන පදනම හා පොදු ජනතාවගේ දැවැන්ත විශ්වාසය ද බිඳලිය නොහැකි වූ විට පක්‍ෂය තුළ බේද වපුරුවා කුඩා කණ්‌ඩායම් හා කල්ලි මගින් පක්‍ෂය දුර්වල කර වූ ආකාරය අතීත අත්දැකීම් තුළින් අප ඉගෙන ගත යුතුය. 1964 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ රජය පෙරළීමට පිරිසක්‌ පක්‍ෂය හැර යැම ද, 1975 දී පිරිසක්‌ පක්‍ෂය කඩාගෙන යැමද, 1984 දී පක්‍ෂය කැඩීම ද, 2001 දී පිරිසක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හැර යැම ද අප ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පරාජයට පත් කිරීමට හේතු විය. කෙසේ වුවද පක්‍ෂයෙන් තාවකාලිකව ඉවත් වූ බොහෝ පිරිස්‌ යළිත් අප පක්‍ෂයට එක්‌ වීම ද අපට අලුත් අත්දැකීමක්‌ නොවේ. එය අප ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ශක්‌තිය වර්ධනය කර ගැනීම සඳහා භාවිත කිරීම අප වගකීමයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට නායකත්වය දීමට මා බාරගත් පසු පාර්ලිමේන්තුවේ අපගේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඉහළ නංවමින් මා හැමවිටම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රගතිය වෙනුවෙන් කැපවූයෙමි. ඉතා දුෂ්කර අපහසු අවස්‌ථාවන්හි දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කිරීමට හැකි වීමේ පාඩම් බොහොමයක්‌ පක්‍ෂ ඉතිහාසය තුළ සටහන්ව ඇත.

අප පාක්‍ෂිකයන් දරුණු භීෂණයට හා මර්දනයට ලක්‌ කළ එක්‌සත් ජාතික පක්‍ෂ පාලන යුගයේ දී පාද යාත්‍රා, ජන ඝෝෂා වැනි මහජන විරෝධතා පවත්වා පක්‍ෂය නගාසිටුවීමට එදා මා හට හැකි විය. ඒ ශක්‌තිය අද ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් වටහා ගත යුතුය. බෙදුම්වාදය අතහැර අප පක්‍ෂය හා එක්‌ වූ උතුරු නැගෙනහිර සියලු දේශපාලන නායකයන් අප ආරක්‍ෂා කර ගත යුතුය. එසේම අප හා එක්‌ව සිටි සියලු දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් ආරක්‍ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සතුය. දේශපාලනය කිරීම නිසා අප පක්‍ෂයට ද පාක්‍ෂිකයන්ට ද එල්ල වී ඇති තර්ජන හා මර්දන හමුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් සිටිය යුතුය.

වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකත්වයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සේම එයට නායකත්වය දෙන සියලු දෙනා පක්‍ෂය ද පාක්‍ෂිකයන් ද ආරක්‍ෂා කර ගැනීමේ වගකීම භාරගනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි. ඇතුළතින් සේම පිටතින් මා වෙත එල්ල වෙන නින්දා අපහාස පරිභව සේම කොන් කිරීම් ද දරාගැනීමේ ශක්‌තිය, ලොව දරුණුම ත්‍රස්‌තවාදීන්ගේ ද ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ද පීඩනයන් උසුලා පුරුදු මට ඉවසා දරා ගත හැකිය.

කවර තත්ත්වයක්‌ යටතේ වත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ද පාක්‍ෂිකයන් ද හැර නොයන බවද, පක්‍ෂය ද පාක්‍ෂිකයන් ද වෙනුවෙන් මේ මොහොතේ පොරොන්දු වෙමි. පක්‍ෂයෙන් මා හට ලැබෙන දෙය නොව පක්‍ෂයට මාගෙන් ඉටුවිය යුතු යුතුකම් පිළිබඳව තවමත් මා කැප වන බවත් වැඩි දුරටත් සඳහන් කරමි.

ඉදිරියේදී ද නැවත අප ජය ගත යුතුය. එය පක්‍ෂය වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ද ඉටු කළ යුතුය. ඒ සඳහා මගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට මා සූදානමින් සිටින බව ඔබ සැම වෙත සතුටින් දන්වනු කැමැත්තෙමි. නව පක්‍ෂ නායකත්වයට මාගේ සුබ පැතුම් පිරිනැමීමට ද මෙය අවස්‌ථාවක්‌ කොට ගනිමි.

Related

Political 8597153256867149391

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item