newssabaragamuvacom

ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගන්න නිර්මාණශීලි සංවාදයකට එන්න - ජනපති කිළිනොච්චියේ දී කියයි

ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා නිර්මාණශීලි සංවාදයකට එන්නැයි තමා සියලු දෙනාට ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා නිර්මාණශීලි සංවාදයකට එන්නැයි තමා සියලු දෙනාට ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය . ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කිළිනොච්චියේ ඉරණමඩු වැව අසලදී ඊයේ (05) ආරම්භ කෙරුණු “ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන “ එක් වෙමිනි .

මෛත්‍රීපාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන යන සංකල්පය යටතේ මෙම ජාතික උත්සවය සංවිධානය කර තිබුණි .ගොවි ජනතාව පමණක් නොව රටේ පාලකයාද කෘෂි කාර්මික කටයුතුවලට සහභාගීවීම අපේ අතීත චාරිත්‍රයකි .

සිදුහත් බෝසතුන් සීසෑමේ උත්සවයට සහභාගිවීමද මේ සම්බන්ධ අතීත නිදර්ශනයකි . වර්තමානයේද රටටම ආදර්ශ ලබා දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉරණමඩු වැව් තාවුල්ල ඉස්මත්තේ කළලින් පිරි බිම් තීරුවක ගොයම් පැළ සිටුවීමේ කාර්යයේ නිරත විය .

ජනාධිපතිවරයා මෙසේද කීය.

දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ලෙස නම් කැර තිබෙනවා . මේ වැඩසටහනේ පරමාර්ථය මේ රටේ දුගීබව තුරන් කිරීමයි .දුප්පත්කම නැති කිරීමයි . අපි අලුත් ආණ්ඩුවක්ලෙස පසුගිය මාස ගණනාවක් කතා කළේ මේ රටේ ජනතාවගේ නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය , ජාතික සංහිදියාව මානව හිමිකම් ඇතුළු සියලු ජනතාව ඒ සියල්ල සම්පූර්ණ කරමින් සාමකාමි දේශයක ජීවත්වීම උදෙසායි .ඒ අරමුණු ඉටුකිරීම සඳහා ජනතාවගේ දූගීබව තුරන් කිරීම දුප්පත්කම අවසන් කළ යුතු වෙනවා .

අපේ රටේ දේශීය ගොවියා ගත කරන්නේ සැපවත් ජීවිතයක් නොවෙයි . ගොවිජනතාව දෑස්වල කඳුළු සහ දුක් සුසුම් තිබෙනවා . ඒ ඔවුන් සැපවත් ජීවිත ගත නොකරන නිසයි . එසේම ඔවුන් කෙතරම් මහන්සි වුවත් ඔවුන්ට ණය බරින් නිදහස් විය නොහැකි නිසයි . සැපවත් ජීවිතයක් කියන එක ඔවුන් දැක නැති නිසයි . මීට හේතුව දුප්පත්කමයි . අපේ රටේ දුගීබව වැඩි වීමට බලපාන ප්‍රධාන හේතු ගණනාවක් තිබෙනවා . එහි ප්‍රධාන කරුණු අතර ආහාර විශාල ප්‍රමාණයක් පිටරටින් ගෙන ඒමට පිටරටට සල්ලි ඇදී යෑම බලපා තිබෙනවා .

අපේ ගොවියාගේ සාක්කුවට ඒ මුදල් එන්නේ නැහැ . ආනයන හා අපනයන වෙළෙඳ පොළ සැලකිමේදී අපි ඉන්නේ ඉතා පහළ මට්ටමකයි . 2014 වසරේ අපිට වගාකළ හැකි ආහාර වර්ග රුපියල් කෝටි හය දහසක වැය කොට විදේශ රටවලින් ඒවා ගෙන්වා තිබෙනවා .

අපි පාරිභෝජනය කරන මිරිස්වලින් සියයට අසූවක් අපි ගෙන්වන්නේ පිටරටින් . රුපියල් කෝටි 150කට වඩා වැය කොට සෝයා පමණක් ආනයනය කැර තිබෙනවා . අපි කුරක්කන් පිටරටින් ගේන්න විශාල මුදලක් වැය කරනවා . අපේ ගමේ කඩපළේ තිබෙන කවුපිවලින් සියයට අසූවක් ගෙන එන්නේ පිටරටිනුයි .

එසේ නම් කොහොමද අපේ ගොවියා පොහොසත් වෙන්නේ? පිටරටින් ගෙන එන ආහාරවලින් අපිට වඟා කළ හැකි භෝග අපි වඟා කරන්න අවශ්‍යයි . පිටරටින් ගෙන ඒම නතර කළ යුතුයි . ඒ නිසා මේ දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩපිළිවෙළ අරමුණු ගණනාවක් තිබෙනවා . එහි අංක එක රටේ දුප්පත්කම තුරන් කිරීමයි . ඊළඟ අරමුණ රටේ ගොවි ජනතාව අතරට මුදල් යෑමෙන් ඔවුන්ට හොඳ ජීවිතයක් ගත කිරීමට හැකි වෙනවා . එසේම වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් කෝටි හය දහසක් හත් දහසක් අපේ රටින් විදේශ රටවලට යන මුදල් ප්‍රමාණය ආරක්ෂා කොට විදේශ විනිමය ආරක්ෂා කැර ගත හැකි වෙනවා .

අපේ විදේශ සංචිත මුදල් වැඩි වුවහොත් අපිට අපේ රටේ සංවර්ධන වැඩවලට එම මුදල් යොදවන්න පුළුවන් . අපේ රටේ ජනතාවට අවශ්‍ය පෝෂ්‍ය ආහාර වේලක් ගත් විට අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට පනහක් පමණයි අපි ගන්නේ . මිනිසෙකුගේ දෛනික ජීවිතයේ අවශ්‍ය පලතුරු සහ එළවළුවලින් සියයට පනහක් පමණයි පරිභෝජනය කරන්නේ . කිරි , මස් , බිත්තර පාවිච්චි කරන්නේ සියයට පනහකට වඩා අඩුවෙන් . ඒ නිසා අපේ රටේ ජනතාවට අවශ්‍ය සමබර ආහාර වේලක් ලැබෙන්නේ නැහැ .

මේ රටේ ජනතාවගෙන් සියයට විසි තුනකට අධික පිරිසකට මන්ද පෝෂණය තිබෙනවා . ඒ නිසා බොහෝවෙලාවට නිසි ලෙස ආහාර නොලැබීමෙන් ජනතාව රෝගී බවට පත් වෙනවා . මත්ද්‍රව්‍යවලට විශාල මුදලක් වැය කරනවා . සිගරැට්වලට විශාල මුදලක් වැය කරනවා . සිගරැට් , අරක්කු නොබී තමන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න පුළුන්නම් නිරෝගි ජනතාවක් බිහි කළ හැකිද ? ඉදිරි අවුරුදු තුනක කාලය තුළ මේ රටේ වගා කළහැකි පිටරටින් ගෙන එන ආහාර නවතා ඒ ආහාර මේ රටේ වගා කැර ජනතතාවට පාරිභෝජනය කිරීමේ තත්ත්වයක් ඇති කිරීමට මේ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වන්නෙමු .

අපේ රටේ මේ කටයුත්ත් කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයට සහ කෘෂිකර්ම ආමාත්‍යාංශයට තනිව බැහැ . මෙම ස්ථානයේ කෘෂි කර්ම ඇමැතිතුමා ඉන්නවා . ධීවර ඇමැතිතුමා ඉන්නවා . වැවිලි කර්මාන්ත , පංශු සම්පත් ඇමැතිතුමා ඉන්නවා . උතුරු මහ ඇමැති ඉන්නවා නිලධාරි ඉන්නවා . ධීවර කෘෂිකර්ම , පංශු සම්පත් මේ අමාත්‍යාංශ පමණක් නොව සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මේ ජාතික වැඩමසටහනට එක් කැර ගන්නවා .

මෙහි ප්‍රධාන වැඩසටහන ගෙවතු වඟාවයි . ගෙවතු වඟාවට විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ . තමන්ට දෛනික අවශ්‍ය ආහාරවලට අවශ්‍ය එළවළු ,පලතුරු ,මිරිස් ආදී සියලු දේ ගෙවත්තේ හදා ගන්න පුළුවන් . මල් හඳන මල් පෝච්චි ටිකක තමන්ට අවශ්‍ය එළවළු පලතුරු මිරිස් ටික හදා ගන්න පුළුවන් . අද මේ වැඩසටහන ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මැති ඇමැතිවරු කුඹුරුවලට ගොස් ක්ෂේත්‍රයට එක්ව තිබෙනවා . කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය පිළිබඳ දහතුන්වැනි සංශෝධනය යටතේ බලතල තිබෙන්නේ පළාත් සභාවලටයි .

පුළුල් ජාතික වැඩසටහන භාරගෙන ක්‍රියාත්මක කරන ලෙස මම සියලු පළාත්සභාවලින් ඉල්ලා සිටිනවා .

මේ කිළිනොච්චි ප්‍රදේශයෙන් ආරම්භ කළේ උතුරේ ජනතාවට කරන ගෞරවයක් ලෙසයි . ඒ නිසා උතුර මහ ඇමැතිතුමා ඇතුළු නිලධාරීන් සියලු මැති ඇමැතිවරු ගොවිමහත්වරු සමඟ මේ ජාතික වැඩසටහනේදී නායකත්වය ගෙන කටයුතු කරනු ඇතැයි මා සිතනවා . තමන්ට අවශ්‍ය ආහාර ටික පිටරටකින් ගෙනැවිත් කන එක මොනතරම් ලැජ්ජා සහගතද ? මේ සියලු දේ අපට වඟා කිරීමේ හැකියාව තිබෙනවා . ඒ නිසා සියලු දේශපාලන නායකත්වයන් ප්‍රාදේශීය නායකත්වයන් සියලු රාජ්‍ය නිලධාරීන් පුළුල් ජාතික වැඩසටහනට එක්ව සාර්ථක කරනු ඇතැයි මම විශ්වාස කරමි .

ජනතාවට ලබා දෙන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේම ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් වෙන්න ජනතාවගේ දුප්පත්කම නැති කොට ජනතාවට හොඳ ආර්ථික තත්ත්වයක් ගොඩනඟන්න අවශ්‍යයි . ලබන සතියේ සිට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ගිහින් ඒ දිස්ත්‍රික්කවල දේශපාලන නායකත්වය සහ නිලධාරීන් , ජනතාව හමුවී මේ පිළිබඳ ශක්තිමත් කරන්න ,ක්‍රියාශීලි කරන්න උනන්දු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

මේ රටේ ජනතාවගේ දුගීබව තුරන් කොට ආර්ථිකය ශක්තිමත් කොට ස්වයංපෝෂිත ජනතාවක් ගොඩ නැඟීමයි . මටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ඇමැති මණ්ඩලයටත් පාර්ලිමේන්තුව සහ පළාත් සභා සහ නිලධාරීන්ට ජනතාව සමඟ එක්ව අපි බලාපොරොත්තුවු ඉලක්ක සපුරාලිය හැකි බව මම විශ්වාස කරමි .

අපිට ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා මාර්ගයෙන් විසදා ගන්න පුළුවන් . අපේ ප්‍රධාන ඇමැති විග්නේෂ්වරම් මහතාගේ කතාවෙදි කරුණු කිහිපයක් එතුමා සඳහන් කළා . නිර්මාණශීලි සංවාදයකට එන්නැයි මම ඒ සියලු දෙනාට ආරාධනා කරනවා. සාකච්ඡා කොට ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගමු කියා මම කියනවා . අපිට අවශ්‍ය මේ රටේ සියලු ජනතාව සිංහල , දමිළ , මුස්ලිම් ,මැලේ , බර්ගර් ආදි සියලු ජනකොටස් සහෝදරත්වයෙන් ,විශ්වාසයෙන් ,සමඟියෙන් ජීවත්වන සමාජයක් ගොඩනැඟීමයි .

අද අපේ රටේ සංවර්ධනයට ලෝකයේ සෑම රටකින්ම උදව් කරනවා . සියලු ජාත්‍යන්තර සංවිධාන උදව් කරනවා . සියලුම රටවල් සහාය දෙනවා . කිසිඳු සතුරෙක් නැහැ . අපි සමඟ අමනාපයෙන් වැඩකරන ලෝකයේ කිසිඳු රාජ්‍ය නායකයෙකු නැහැ . අපිට අද ඉන්දියාවත් සලකනවා . පාකිස්ථානයත් සලකනවා . චිනයත්, එංගලන්තයත් , ඇමෙරිකාවත් සලකනවා .ලෝකයේ උතුරු ,නැගෙනහිර ,බටහිර ,දකුණ සියලු රටවල් අපිට අද සලකනවා

මේ රට සංවර්ධනය කරන්න හොඳම යුගය මෙයයි . අපේ ආණ්ඩුකාල සීමාවේ ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරනවා .

ඒ නිසා අද ඉතාම වාසනාවන්ත දවසක් කියා මම විශ්වාස කරමි . මේ සියලු රාජ්‍ය නිලධාරීන් සියලු කාර්යාලවල , නිලනිවසවල , නිවසවල සෑම තැනකම ගෙවත්තක් ආරම්භ කරන්න යැයිද එළවළු , පළතුරු වඟා කරන්න යැයිද මම ඉල්ලා සිටිනවා . රජයේ සියලු ඉඩම් මේ වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නවා . ඒ වාගේම පෞද්ගලිකව සංවර්ධනය නොකොට තබා තිබෙන ඉඩම් හිමියන්ට ආහාර නිෂ්පාදනයට අවතීර්ණ වෙන්න එසේ නැත්නම් ආහාර නිෂ්පාදනයට අපි වෙනත් අයට තාවකාලිකව ලබා දෙන බව අපි කියනවා .

රජයේ සහ සහ පෞද්ගලික අංශයේ ඉඩම් වඟා නොකොට නිකම් තබා ගෙන සිටින්න ඉඩ දෙන්න බැහැ . මේ වැඩසටහනේදී රජයේ ඉඩම් මේ සඳහා යොදා නොගෙන හිස්ව තිබුණහොත් අදාළ නිලධාරීන්ගෙන් මම නිදහසට කරුණු විමසනවා . පෞද්ගලික ඉඩම් වඟා නොකැර තිබේ නම් ඒවා වඟා කරන්න අවශ්‍යයි . එසේ නැත්නම් තාවකාලිකව වඟා සඳහා ලබා දෙන්න අපිට සිදු වෙනවා . දුගීබව තුරන් කිරීම සහ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ හරියට යුද්ධයක් වගෙයි .

වඟා කළ හැකි සෑම බිම් අගලක්ම වඟා කළ යුතුයි . ඒනිසා මේ වැඩපිළිවෙළේදී සෑමකෙනෙකුගේම සහාය අපි ඉල්ලා සිටිමු . උතුරේ ජනතාව නැගෙනහිර ජනතාව මෙන් යුද්ධයෙන් පීඩා විදි බව අපි දන්නවා . ඒවගේම දකුණේ ජනතාවත් පීඩා වින්දා . ඒ සියලු දේ පිළිබඳ ඔබ අපි සෑම කෙනෙකුටම හොඳ අවබෝධයක් තිබෙනවා. අපි ඒ සියල්ලේ අත්දැකීම් සමඟ එක්ව අපි රට ගොඩනගමු . දුගී බව තුරන් කරමු . දුප්පත්කම නැති කරමු .

සියලු ගොවි ජනතාව අතර හොඳ ආර්ථිකයක් ඇති කරමු . මේ සෑම කෙනෙක්ම අපේ රට අපේ දේශය කියන හැඟිමෙන් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු . අද විශේෂයෙන් මේ උත්සවයේදී යුද හමුදා පරිහරණයට ගෙන තිබූ අක්කර හයසිය ගණනක් නිදහස්කිරීමේ බලපත්‍ර නිකුත් කළා . ඒ කටයුතු පියවරෙන් පියවර අවසන් කරනවා

කෘෂිකර්ම ඇමැති ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා -

මේ රටේ සුවිශේෂි දිනයක් . රට නැවත ස්වයංපෝෂිත කිරීමේ කාර්යයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය ගෙන කටයුතු කරනවා . ආහාර නිෂ්පාදන ජාතික වැඩපිළිවෙළ පැවැත්වෙන මේ අවස්ථාව ඓතිහාසික අවස්ථාවක් . ජනාධිපතිවරයා අත ගසා තිබෙන්නේ භාරදූර වැඩපිළිවෙළකටයි . මෙවන් භාරදූර කටයුත්තක් තම අමාත්‍යාංශයට භාර දීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා . රටේ පුරන් කුඹූරු අක්කර ලක්ෂයක් තිබෙනවා .

ඒවා වඟා කිරීමට වත්මන් රජය අපේක්ෂා කරනවා . අපේ රටේ වී අතිරික්තයක් තිබුණද ඇතැම් ධාන්‍යවලින් සියයට අසූවක් විදේශයෙන් ආනයනය කරන්නවා . ඒ නිසා වඟාවන් වලදී අත්‍යව්‍ය භෝග පිළිබඳ අවධානය යොමු කරනවා . මහා සංඝරත්නය ප්‍රධාන සෙසු ආගමික නායකයන් , උතුරු මහ ඇමැති සී .වී විග්නේෂ්වරන් ,ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා,වනජීවි ඇමැති ගාමිණි ජයවික්‍රම , වනජීවි ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා , වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක , සුළු කර්මාන්ත ඇමැති දයා ගමගේ , උතුරු ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු , ජනාධිපති ලේකම් පී .බී අබේකෝන් , යන මත්වරුන් ද ප්‍රාදේශීය දේශපාලනඥයන් , ඇතුළු අති විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වී සිටියහ .




උපුටා ගැනීම - දිනමිණ වෙබ් අඩවියෙනි


Related

News Alert 8790243064375183995

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item